Monday, February 20, 2023

හත් දවසේ සාපයක්ද ?

මගේ කලින් පොස්ටුවක මම විමසුවා අපේ රටේ විතරක් මේ  චිත්‍රකතා පත්තර බිහිවුනේ ඇයි කියලා, ඒවා එක්තරා වට්ටොරුවකට නිර්මාණය වුන බවත්, විවිධ ප්‍රකාශකයන් සහ ශිල්පින් මුදල් පසුපස යාම මේ ක්ෂේත්‍රය වැටීමට හේතු බවත්. මම මෙවර බලාපොරොත්තු වන්නේ එවැනි චිත්‍රකතා "පත්තර" අපට සුදුසු නොවන්නේ ඇයි කියා විග්‍රහ කිරීමටයි. මෙය එදා මෙන් ඉදිරියටත් බලපාන බැවින්, අනාගතයේදී අප මෙම ක්ෂේත්‍රය නගා සිටීමට දරන ප්‍රයත්නයන් වලටත් අදාළ වේ යැයි මම සිතමි. මෙම මාතෘකාවට අනික් ප්‍රධාන හේතුවන් වුයේ, විවිධ චිත්‍රකතා මුහුණු පොත් වල, රසිකයන් වන ඔබ අප නිතර සදහන් කරන කරුණක්. එනම් අතීතය සිහිකර, එම කාලය ගැන ගුණ වයමින් නැවතත් එම කාලයට යෑමට හැකිදැයි විමර්ශන කරමින්, නැවතත් එම කාලයට යා යුතුයි කියා නිතර කරන ප්‍රකාශනයන්ය. එයිනුත් ප්‍රධානම ප්‍රකාශයන් තමා... "ඒ කාලේ අපි කොච්චර අසාවෙන් බලාගෙනද හිටියේ පත්තරේ එනකන්... මෙච්චර දුර ගියා පත්තරේ ගන්න" වැනි කියමන්. මේ සියල්ල ඇත්ත. මමත් සතියක් පුරා බලා සිටියා මගේ ප්‍රියතම කතාවේ ඉතිරි කොටස බලන්න ලැබෙන තෙක්. 

ප්‍රධාන හේතුව: 70 දශකයේ ඒ සතිය (හත් දවස) තුල අපට රස විදීමට තිබුණේ ඉතා ස්වල්ප දේවල් කිහිපයක් පමණි. සාමාන්‍ය දිනපතා නිකුත්වෙන පත්තරය, දිනපතා නිසර ඇසෙන රේඩියෝව, ඉදලා හිටලා බලන චිත්‍රපටය වගේ දේවල්. ඊලග සතියේ චිත්‍රකතා පත්තරය එනතෙක් අපි මුවන් පැලැස්ස, මොණර තැන්න, විනෝද සාමය වැනි ප්‍රසංග වලට යොමුවුනා, හැබැයි එයත් සතියට වරක් පමණයි ප්‍රකාශනය වුයේ. එවායින් අපේ "සතිපතා" නිකුත්වන චිත්‍රකතාවට කොහෙත්ම බාධාවක් එල්ල වුයේ නෑ. එනිසා සතියක් බලා සිටීම එච්චර අමාරු වුනේ නෑ. නමුත් 70වේ අග බාගයේ අපට රුපවාහිනිය ලැබුනා. ඒ තුලින් අපට එම හත් දවස තුල තව දෙයක රසාස්වාදය ලබන්න හැකිවුනා. 80 මැද වෙනකොට චැනල් 2ක් ඇවිත් ඒ හත් දවස තුල බලන්න දේවල් ටික ටික වැඩිවෙන්න ගත්තා. මෙන්න මේ හේතුව තමයි ගොඩක් අය පෙන්වලා කියන්නේ රුපවාහිනිය නිසා චිත්‍රකතා වැටුනා කියලා. නමුත් මම දකින්නේ මේ හේතුව නිසා තමා "චිත්‍රකතා පත්තරය" වැටුනේ කියලා, "චිත්‍රකතාව" නෙමේ. 

සතියට වරක් නිකුත් වෙනකොට රසිකයන්ගේ අවධානය (attention) වෙන වෙන, දිනපතා බලන්න පුළුවන් දේවල් වලට යැවෙනවා. ඒක සාමාන්‍ය දෙයක්! අපි හිතට එකඟව බැලුවොත්, වෙනත් මාධ්‍යයන් වලින් දිනපතා අපේ රසයට දෙයක් ලැබෙනවනම්, හත් දවසකට වරක් එක පිටුවක පළවෙන කොටු 10-12ක කතාවක් නැවත එනතෙක් රසිකයා බලා ඉදීම අපට අපේක්ෂා කර හැකිද?විශේෂයෙන් මම කලින් පොස්ටුවේ කිව් පරිදි ඒ පලවෙන චිත්‍රකතා බොළඳ නම් (මගදී නවතිනවාත් නම්), ඇදෙන චිත්‍රත් (කොපි කර අදින ආධුනිකයින් නිසා) ඉහල නැත්නම්, එවැනි පත්තර හතු පිපෙන්න සේ නිකුත් වේ නම් රසිකයාගේ අවධානය රැදී නොපැවතීම අසාධාරණද? හැබැයි දවස් හතක් ඉන්නේ නැතුව, පිටු 48-60 වගේ මුල ඉදන අගටම කියලා ඉවර කරන්න පුළුවන් එක් එක් චිත්‍රකතා පොත්, තිබුනානම් ඒ කාලයේ...? අපි නොබලා ඉදියිද? අනිවාර්යයෙන්ම බලනවා! එකයි අනෙක් රටවල් වල මොන රුපවාහිනි චැනල්, ටෙලි කතා හෝ අන්තර්ජාලය ආවත් චිත්‍රකතා රැකුණේ ! විවිධ නව මාධ්‍යයන් ලෝකයට අවතීර්ණ වනවිට, තියෙන මාධ්‍යය වෙනස් නොවී එම තරගකාරිත්වයට මුහුණ දුන්නොත්, අනිවාර්යයෙන් එය කඩා වැටෙනවාමයි. එයයි අපේ චිත්‍රකතා "පත්තරේට" වුනේ. එනිසයි මම තරයේ කියන්නේ චිත්‍රකතා "පත්තර" වෙනුවට, අපි චිත්‍රකතා "පොත්" එලි දැක්විය යුතුයි කියා. මන්ද අපි ගොඩ නැංවිය යුත්තේ චිත්‍රකතාව මිස, පත්තරය නොවේ. ලෝකයේ අනෙක් තැන්වල වුනෙත්, තවම වන්නෙත් එයයි. 

මෙය ඉදිරියට එළිදක්වන්න ඉන්න චිත්‍රකතා පත්තර වලටත් වලංගුයි. මම හිතන්නේ පුළුවන් තරම් අන්තාර්ජාලය තුලින් වුනත් ඉදරිපත් කල යුත්තේ සම්පුර්ණයෙන් මුල සිට අග දක්වා නිමවෙන කතාවල්. මන්ද අද ලෝකයේ ඉන්න සෑම දෙනාම සේ අපේ රසිකයාගෙත් අවධානය ඉතා කෙටි එකක් (short attention span). එය දිනාගන්න නොයෙකුත් මාධ්‍යයන් නිතර දේවල් ඉදිරිපත් කරනවා. පරණ පරපුරේ අපි, පරණ චිත්‍රකතා වලට තියෙන ඇල්මට මේ වගේ මුහුණු පොතේ සහ වෙබ් අඩවි වලින් රස වින්දත්, මෙම ක්ෂේත්‍රය ඉදිරියට රැක ගන්න නම්, අලුත් පරපුරේ අයගේ සහයත් අවශ්‍ය වෙනවාමයි. ඔවුන්ගේ චිත්‍ර, කතා අදහස් කොතරම් අපට නොගැලපුනත්, අපි එයට රුකුලක්වී මග පාදා දිය යුතුයි. මම කලක් සිට නව පරපුරේ ඉන්න සමහර අයගේ, අලුත් විදිහේ අදින චිත්‍රකතා අන්තර්ජාලයෙන් බලලා තියෙනවා. ඒ චිත්‍ර ගොඩක් වෙනස්, කතා වස්තුත් එලෙසමයි. ඒවා ගොඩාක් බටහිර හෝ ජපානයේ මන්ගා (manga) නමැති ශයිලියන්ට කිට්ටුයි. හේතුව අපේ චිත්‍රකතා වැටීම නිසා, ඔවුන් ආභාෂය සොයා ගෙන තියෙන්නේ, අන්තර්ජාලය තුලින් වෙන රටවල් වල තියෙන ශයිලින් අනුවයි. කතා පවා වෙනස් වන්නේ ඒ හේතුව උඩයි. නමුත් සමහර කතාවස්තුන් ශ්‍රී ලාංකිකයි, ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ලියලා තියෙනවා. නමුත් මේ පිටුවේ රැඳිලා ඉන්න ඔබලා කීදෙනෙක් මේ අය ගැන දන්නවාද? 

මම ඒ අයගේ පිටුවලින් චිත්‍ර කීපයක් අරගෙන මෙම පොස්ටුවේ අමුනලා තියෙනවා ඔබට බලන්න. මේවා හොයා ගත්තේ මුහුණු පොතේ ලංකාවේ චිත්‍රකතා වලට ආදරේ කරන නව පරපුරේ අයගේ පහත දැක්වෙන ලින්ක් කීපයකින්.... 

https://www.facebook.com/photo/?fbid=3153677971402521&set=pcb.3153705811399737

https://www.facebook.com/pruvesl

https://www.facebook.com/papadamnarts

https://www.facebook.com/Azuruniverse

https://www.route-345.com/lionborn/

Lionborn නම් වන මෙම නිර්මාණය ඉතා සාර්ථකව, ජ්‍යාත්‍යන්තර මට්ටමින් සචි එදිරිවීර නම් නව පරපුරේ දක්ෂ චිල්පියෙක් එලි දක්වා තිබෙනවා. එහි කතාව පදනම්වී තිබෙන්නේ අප කවුරුත් දන්නා සිංහබාහු කතාව ඇසුරෙන්, අලුත් අර්ථකතනයකින් එදිරිපත් කර ඇත. කතා පොත් දෙකක් දැනට නිකුත් කර ඇති මෙම ශිල්පියා නව පරපුරෙන් ඇවිත්, "සමහර" පැරණි ප්‍රවිනයන්ටත් එහා ගොස් දැනට ලෝකයේ තිබෙන නිර්මාණ හා සමව සිටින බව පෙනෙනවා. (ඉහත පින්තුරයෙන් ඔහු කටු සටහනේ සිට, කළු තීන්තෙන් ඇඳ, පාට යොදා අන්තිමටම දෙබස් සහ වචන යොදා ගත් ආකාරය පෙන්නුම් කරයි)

මම හිතනවා ඔබලා විවුර්ථ මනසකින් ඒවා බලලා අගය කරයි කියලා. මේ තමා අපේ ලංකා චිත්‍රකතා ක්ෂේත්‍රයේ අනාගතයේ ඒක් කොටසක්. ඔවුන් හා එක්වීම සහ ඔවුන්ද අප වෙත ඈදා ගැනීමද චිත්‍රකතා ක්ෂේත්‍රය රැකගැනීමට අත්‍යවශ්‍යයි. මේ අයගේ කතා වස්තුන් බැලුවාම ඔබට තේරේවි ඒවා ගොඩාක් මායාවන් වලින් හැදුන දක්ෂතාවයන් ඇති, විජ්ජාවෙන් සතුරන් හා සටන් වදින චරිත ගැන කියලා. ඒවා මම කලින් සඳහන් කල පරිදි බටහිර සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන් වැනි චරිත වගේ. ඒක හොඳ දෙයක් කියලා මම හිතනවා...

කොටින්ම කියතොත් බටහිර රටවල් වල රසිකයින් තමන් ජිවත්වන සාමාන්‍ය ලෝකයේ තියෙන කරදර, විදින ආදරය, දුක ඇතුලත් කතා වලින් මිදෙන්න, චිත්‍රකතා වල තියෙන මිත්‍යා ලෝකවලට ගිහින් අපුරු රසයක් විදිනවා. ලංකාවේ අපි? මිත්‍යාවෙන් පිරුණු (කේන්දර, දෙවියන්ට භාර හාර, ගුරුකම්, හූනියම් ආදී) සමාජයක ජිවත් වෙමින්, සාමාන්‍ය ලෝකයේ වෙන කරදර, ආදරය දුක් කතා චිත්‍රකතාවෙන් රස විදින්න හදනවා ! 

අපිට පැටලිලා කියලා හිතෙන්නේ නැත්ද???

Featured

හත් දවසේ සාපයක්ද ?

මගේ කලින් පොස්ටුවක මම විමසුවා අපේ රටේ විතරක් මේ  චිත්‍රකතා පත්තර බිහිවුනේ ඇයි කියලා, ඒවා එක්තරා වට්ටොරුවකට නිර්මාණය වුන බවත්, විවිධ ප්‍රකාශක...