නාලන්දාවේ ක්‍රිකට් කාටුන් ඇඳීම මගේ ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයක් වුනේ, එම කර්තව්‍යයේදී අපු අඳින කාටුන් වලට ඉංග්‍රීසියෙන් වචන (script) යෙදුවේ පාසැලේ ගුරුතුමෙක් වූ ජී. එච්.යාපා මහතා. ඔහු දුටුවා මට ඇඳීමේ හැකියාව වගේම ඉංග්‍රීසියෙන් ලියන්නත් හැකි බව, මන්ද 1982 පිටුවලට ඉංග්‍රීසියෙන් ස්ක්‍රිප්ට් එක ලියන්න මම ඔහුට උදව් කල නිසා. එනිසා මගේ අන්තිම අවුරුද්දේදී ඔහු පසෙක හිඳ මටම ස්ක්‍රිප්ට් එකත් චිත්‍රත් අදින්න ඉඩ දුන්නා. ඒ අපිට ඒ දවස් වල ලැබුණු ගුරු දෙවිවරු!! ඔහු මට කිව්වා "රජින්ද, ඔයා කමර්ෂල් ආර්ට්, ග්‍රැෆික් පැත්තට යන්න පුතා, ඔයාට දක්ෂතාවයක් තියෙනවා" කියලා. ඒ නොවෙන්න මම ග්‍රැෆික් හෝ වාණිජ චිත්‍ර ශිල්පිය කියා දෙයක් දන හිටියේ නෑ. මම තියා අපේ වැඩිහිටියන් පවා එය දන සිටියේ නෑ. ඒ නිසා මගේ ගමනේ පටන්ගැන්ම පහදා දුන්නට යාපා සර්ට මම අදටත් සදා නය ගැතියි! මෙමෙ කාලය තුලදී විවිධ පුවත්පත් වලට මම දවසේ චිත්‍රකතා යැව්වා, ලිපි ලිව්වා. සමහර ඒවා පළවුනා, ගොඩාක් ඒවා පල වුනේ නෑ. බලාපොරොත්තු බිම වැටුන අවස්තා එමටයි, නමුත් ඇඳීම නැවතුනේ නෑ වගේම විවිධ ශිල්පීන් ගෙන් නොයෙකුත් දේ ඉගෙන ගත්තා. ජනක අයියාව තමා ගොඩක්ම අනුකරණය කලේ. ඔහුගේ ඉරි, බුරුසු පාරවල්, මුහුණක තලය පමණක් නොව ඔහුගේ අත්සන පවා අපි කොපි කළා. නමුත් පසු කලෙක මගේම ශයිලියක් හදා ගත්තා. එයට ප්‍රධාන හේතුව වුනේ ප්‍රචාරක ආයතනයි.
පාසලෙන් නික්මුනු පසු මම 1984 වසරේදී පුහුණු චිත්‍ර ශිල්පියෙක් ලෙස මාස්ටර්ස් ප්‍රචාරක ආයතනයේ වැඩ කරන්න අවස්ථාව ලැබුනා. ඒහිදී ග්‍රැෆික්ස් කියන්නේ මොනවාද, සිංහල සහ ඉංග්‍රීසි අකුරු ජාති, ඒවා අදින විදිහ, එයාර් බ්‍රෂ් (air brush) වලින් පින්තුර රී ටච් කරන හැටි, ඉරි වලින් ඇදී චිත්‍ර ටින්ට් ස්ක්‍රීන් අලවා ශේඩින් කරන විදිහ ආදී නොයෙකුත් දේවල් මම ඉතා ආසාවෙන් ඉගෙන ගත්තා. මෙම ආයතනයේ මාත් සමගම වැඩට තව විශේෂ කෙනෙක් පැමිණියා. ඒ ප්‍රවීන චිත්‍රකතා ශිල්පී, අනුර ශ්‍රීනාත් මහතා. ඒ වනවිට ඔහු චිත්‍රකතා ලොවේ හිටියට, මාස්ටර්ස් වලින් තමා ඔහුගේ පළමුවරට ප්‍රචාරක ආයතන වලට පිවිසෙන්නේ. ඔහු තමා මාව නැවතත් චිත්‍රකතා ලොවට අරන් ගියේ. අපේ මිතුරුකම නිසා මට පී. ඒ. ලීලාරත්න, ඇන්ටන් බී පෙරේරා යන ප්‍රවීණයන් පටන් ගත්ත මල්සර චිත්‍රකතා පත්තරේට අදින්න ලැබුනා. පසු කාලෙක පත්තරේ නැවතුනත් සමගම මම JWT කියන ජ්‍යාත්‍යන්තර සමාගමකට සම්බන්ධ ලංකාවේ විශාල ප්‍රචාරක ආයතනයකට බැදුනා. මාව එතෙනට ගත්තේ පසු කලෙක මගේ ප්‍රචාරක ක්ෂේත්‍රයේ ගුරු ලෙස සලකන, උපාලි හේරත් මහතා විසින් චිත්‍ර ශිල්පියෙක් (visualizer) හැටියටයි. එහිදී නැවතත් මගේ ඉංග්‍රීසි හැසිරවීමේ හැකියාව නිසාම, එය දුටු ඔවුන් මාව ඉතා ඉක්මනින් පුහුණ චිත්‍ර අධ්‍යක්ෂක කෙනෙක් හැටියට පත් කළා. එම ආයතනය විශාල එකක් නිසාත් පිටරටින් ඔවූන්ගේ ප්‍රවීනයින් නිතර පැමිණ අපව පුහුණු මාලා (workshops) මගින් ප්‍රචාරක ලෝකයේ වෙන නවීන දේවල්, රටා වගේම ඕනෑම දෙයක් විකිනීමට ඉලක්කයක් තෝරා එයට අවශ්‍ය විදිහට චිත්‍රය, රචනය වගේ දේවල් ඉදිරිපත් කරන හැටි තේරුම් කර දුන්නා. මේවා චිත්‍රකතා නිර්මාණයටත් බලපාන බව මට තේරුනේ පසුකාලෙක ලංකාවේ චිත්‍රකතා ක්ෂේත්‍රය පසු බැසීම ගැන විමසන කොටයි.
1986-87 වනවිට මම චිත්‍ර අධ්‍යක්ෂක තනතුරට පත් වුනා. ලංකාවේ ප්‍රධානම පෙලේ ප්‍රචාරක ආයතනයක ලා බාලම (අවු 21 හෝ 22යි) චිත්‍ර අධ්‍යක්ෂක හැටියට පොඩි නමක් ක්ෂේත්‍රයේ හැදිලත් තිබුනා. ඒ නිසාම මට ලංකාවේ පැරණිම විශාල ප්‍රචාරක ආයතනයක් වන ග්‍රාන්ට්ස් (Grant McCann Erickson) වලින් ඇරයුමක් ලැබුනා ඔවුන්ගේ ආයතනයට බැදෙන්න කියා. මෙහිදී මට තව ගොඩක් චිත්‍රකතා ශිල්පින් හමුවුනා වගේම චිත්‍ර අධ්‍යක්ෂක හැටියට ඔවුන්ව චිත්‍රාගාරය තුල හසුරුවන්නත් වුනා. ඔවුන් හරි සුන්දර ශිල්පීන්, තවමත් මගේ හොද ගජ යාලුවෝ! අවාසනාවකට ඒ වෙනකොට ප්‍රචාරක ආයතනයේ වැඩ වල තිබුන අධික බහුලතාවයත්, මගේ සංකල්ප (concepts) කලේ චිත්‍රාගාරයේ ශිල්පින් ලවා නිසාත්, ක්‍රම ක්‍රමයෙන් චිත්‍ර ඇඳීමෙන් මම ගොඩක් දුරට පසුබස වී චිත්‍රකතා ලෝකයෙනුත් ඉබේම වගේ ඉවත් වී තිබුනා. 1989දී විවාහයෙන් පසු මම කැනඩාවට සංක්‍රමණය කිරීමත් සමගම, ලංකාවේ මගේ චිත්‍රකතා ගමන සම්පුර්ණයෙන් නැවතුනා. මට අවුරුදු 25දී ලංකාවෙන් පිටවන විට, චිත්‍රකතා සහ ප්‍රචාරක ආයතන වල වැඩ කර තිබුන අවුරුදු 6ක් (අව්‍ය 20-25) තුලදී ලොකු ගමනක් ඉතා වේගයෙන් ආපු බවයි මට හැගුනේ. වේගයෙන් එන හැම ගමනකදීම වගේ, කැනඩාවේදී මගේ ගමනට තිරිංගය වැදුනා.
No comments:
Post a Comment