Thursday, February 9, 2023

ආදර කතා අපිට එපා... ද?

ලංකාවේ චිත්‍රකතා පත්තර වැටීම ගැන ගොඩක් අය කියෙන දේ මම කියවලා තියෙනවා... විවිධ අදහස් තියෙනවා, හැම එකේම වටිනා කරුණු තියෙනවා. TV සහ Teledrama මෙයට විශාල වශයෙන් බැනුම් අහනවා! නමුත් මම දන්නා පරිදි නම් ලෝකයේ අනිත් රටවල් වල එහෙම හේතු නිසා චිත්‍රකතා වැටුනේ නෑ. ලෝකයේ තාක්ෂණ දියුණුවත් සමගම නොයෙක් දේ වෙනස් වනවා. රූපවාහිනිය එන්න කලින් රේඩියෝ සහ චිත්‍රපට තිබුනේ. රුපවාහිනිය නිසා රේඩියෝව තරමකට පසු බැස්සත්, එය නැත්තටම නැතිවුනේ නෑ වගේම චිත්‍රපට නවතුනෙත් නෑ. හේතුව එම ක්ෂේත්‍රවල අය ඔවුන්ගේ නිර්මාණ වෙනස් කරගෙන කාලය සමග වෙනස් වෙලා, අන්තර්ජාලය වැනි අලුත් තාක්ෂනයන් උපයෝගී කරගත් නිසා. නමුත් අපේ රටේ චිත්‍රකතා වැටීමට හේතුව කේටියෙන් කිව්වොත්... ප්‍රකාශක ආයතන මුදලාලිලා මුදලට ලෝබවිම, චිත්‍ර ශිල්පින් බට්ටා පනින්නා සේ ඔවූන්ගේ කතා මග දමා අලුත් (වැඩියෙන් ගෙවන) පත්තර වලට පැන යාම, එමගින් ඇතිවුන පුරප්පාඩුවෙන් (ඉල්ලුමක් නැති වුනත්) පළපුරුද්දක් නැති නවකයින්/කොපි කාරයින් බිහිවීම, කිසිම හරයන් නැති කතා වස්තුන් වැනි දේවල්ය. හිතලා බලන්න අපේ වගේ පොඩි රටකට එතරම් චිත්‍රකතා පත්තර ඇත්තටම අවශ්‍යද කියා. එයින් මේ ක්ෂේත්‍රය dialute වුනා වගේම, පාටකයාට තිබුණ ආසාව, විශ්වාසය නැති වෙලා ගියා.

ඊළඟට අපි බලන්න අවශ්‍යයි අනෙක් රටවල නැති චිත්‍රකතා පත්තර, අපේ රටේ ඇතිවුනේ ඇයි කියලා එය අවශ්‍යද කියලා. ලෝකේ හැම රටේම සාමාන්‍ය පත්තරවල එක පිටුවක විතරක් චිත්‍රකතාවක්, දෙකක් තීරුවක් වශයෙන් දිනපතා හෝ සුමානෙකට වරක් පලවෙනවා. රටවල චිත්‍රකතා වැඩියෙන් තියෙන්නේ පොත් වශයෙන්ම පමණයි. ලංකාවේ චිත්‍රකතා පත්තර වලින් ගොඩක් අයට අවස්තාව ලැබුන එක ඇත්ත, නමුත් පසු කාලීනව ඉල්ලුමට වඩා ශිල්පින් බිහිවුණා කියලයි මගේ හැගීම. මට හිතෙන්නේ අපටත් තිබුන චිත්‍රකතා පත්තර වලට අමතරව චිත්‍රකතා පොතුත් ප්‍රකාශනය කරන්න. සුසිල් ප්‍රේමරත්නයන් වැනි අයගේ ලන්දේසි හටනින් පසු, චිත්‍රකතා පොත් ගොඩ කාලෙකට නිකුත් වුනේ නෑ. එහෙම වුනා නම් සමහර විට මෙය වැටෙන්න නොතිබුනා... මෙන්න ඒකට මම දකින තවත් හේතු කීපයක්...


එකක්, කතාව මගදී නවතින්නේ නෑ! දෙවනුව අදින්න කලින් මුළු කතාවම ප්‍රකාශකයාට දිය යුතුයි. එවිට එම කතා වස්තු බීජය හොදද, සුදුසුද, ඉල්ලුමක් තියෙනවද කියලා බලලා තමා වැඩේ පටන් ගන්න ඉඩ ලැබෙන්නේ.... සීමා (deadline) කාලයක් තුල අදින නිසා, මුල සිට අවසානය තෙක් ශිල්පියාගේ ශයිලිය වෙනස් වෙන්නේ නෑ, එතකොට අදින චරිතවල මුහුණවල් වැනි වැදගත් දේවල් එකවගේම දිගටම තියෙනවා (අපේ පත්තර වල සමහර චරිතයක් අවුරුද්දකට විතර පස්සේ බැලුවම, පටන් ගත්ත මුහුණට වඩා වෙනස් පෙනුමක් තියෙන්නේ). අනික තමා චිත්‍රකතා පත්තරවල කර්තෘ වරුන් පත්තරේ හදන්නේ එක්තරා (formula) වට්ටෝරුවක් මත. ගමේ කතාවක්, නගරයේ ආදර කතාවක්, සද්ධන්ත සිරුරෙන් යුත් වීරයෙක්, ටාසන් වගේ කැලා කොල්ලෙක්, භීතිය ගෙනෙන කතාවක්... ආදි වශයෙන් විවධ තේමාවෙන් උත කතා එයට අඩංගු විය යුතුමයි. අපි බලපු හැම පත්තයරක්ම හැදිලා තිබුනේ ඔය සූත්තරේ මත තමා. අන්තර්ජාලයේ තියෙනවා එවකට චිත්‍රකතා වලට සම්බන්ධ කෙනෙක්ගේ සාකච්චාවක්.. (මට නම නම් මතක නෑ) එහිදී ඔහු කියනවා සරත්මධු මහතාගේ "ඉතින් ඊට පස්සේ.." කතාවේ නම හැදුන හැටිත්, එය ප්‍රසිද්ධ වූ පසු, අනෙක් පත්තර වල සංස්කාරකවරුත්, එවැනිම නම් හොයා හොයා චිත්‍රකතා හදන්න පරිශ්‍රමය දරපු හැටිත්! ඉතින් කොහොමද ඕනෑම ශිල්පියෙක් අලුත් නිර්මාණයක් බිහිකරන්නේ මේ වගේ ඉදිරියට යන්න බැරි වට්ටෝරු වලට පිටින්?


සමහර ප්‍රවීන, දක්ෂයින් මේ වට්ටෝරුව කඩලා හොද නිර්මාණ බිහිකල නමුත් ගොඩක් අය මේකට අහුවුනා! එකෙන් රසිකයාට මේ චිත්‍රකතා බොළඳ, ඒකාකාරී දෙයක් වුනා. නිසාම ගොඩක් වෙලාවට සාමාන්‍ය සමාජයේත්, ඉහල සමාජයේ විශිෂ්ට ශිල්පීන් "artist/painters" කියලා අගයන අයගෙනුත්, පාසැල් වලිනුත් චිත්‍රකතා වලට ලැබුනේ ඉතා පහල ප්‍රතිචාරයක්. එයත් මේක වැටෙන්නට බලපෑවා... මගේ පටන් ගැන්මත් එහෙමයි... මම මාස්ටර්ස් ප්‍රචාරක ආයතනයේ වැඩට යනවා කිව්වම, මගේ ආච්චි සහ වැඩිහිටියන් ඇහුවා, "උඹ දැන්වීම් බෝඩ් අදින්නද යන්නේ?" කියලා... ගොඩක් පරම්පරාවේ අය මේ ක්ෂේත්‍රය ගැන දැන හිටියේ නෑ... දැන ගෙන හිටියේ දොස්තර, ඉංජිනේරු, ගුවන් නියමුවා නැත්නම් රජයේ කන්තෝරු වල තියෙන ජොබ් විතරයි. හැබැයි මගේ වාසනාවට මගේ පාසලේ, මම ඇදපු ක්‍රිකට් කාටුන් වලට ඉංග්‍රීසියෙන් කතාව ලියපු ගුරුතුමෙක්, මට කිව්වා "රජින්ද, ඔයා කමර්ෂල් ආර්ට්, ග්‍රැෆික් පැත්තට යන්න පුතා, ඔයාට දක්ෂතාවයක් තියෙනවා" කියලා. තමා ජී.එච්. යාපා මහතා. ඔහු තමා ජනක රත්නායක අයියගේත් අන්තිම වසර කීපයේ ඇඳපු නාලන්ද ක්‍රිකට් කාටුන් වලට ලිව්වෙත්... ජනක අයියා වෙනකොටත් චිත්‍රකතා වල ඉහලින්ම සිටි නිසා ඔහු මට අවවාදය දෙන්නත් ඇති කියලා මම හිතනවා.. එනිසා මගේ ගමනේ පටන්ගැන්ම පහදා දුන්නට යාපා සර්ට මම අදටත් නය ගැතියි!

ජනක අයියාගේ කාටුන්, නාලන්දාවේ ඉගෙන ගමින් සිටි කාලයේ සිට, පාසලෙන් ඉවත්ව 1977 අවසාන කලාපය තෙම ඔහුවේ ශයිලීන්!
ජනක අයියාගේ කාටුන්, නාලන්දාවේ ඉගෙන ගමින් සිටි කාලයේ සිට, පාසලෙන් ඉවත්ව 1977 අවසාන කලාපය තෙක් ඔහුගේ විවධ ශයිලීන්! 
ජනක රත්නායක අනුගමනය කරමින් පසුව 1981-83 දක්වා, මා විසින් අඳින ලද කාටුන් ශයිලියන්, මුල් වසරේ සිට අවසානය වනවිට වෙනස් වූ අයුරු.
ජනක රත්නායක අනුගමනය කරමින් පසුව 1981-83 දක්වා, මා විසින් අඳින ලද කාටුන් ශයිලියන්, මුල් වසරේ සිට අවසානය වනවිට වෙනස් වූ අයුරු.

අවසානයේදී මම දකින දෙයක් තමා ඔය බොළඳ ආදර කතා, චිත්‍රකතා වශයෙන් දිගටම පළවුණේ අපේ ලංකාවේ විතරයි. උතුරු ඇමෙරිකාවේ වගේම ලෝකයේ මුල් කාල වල මෙවැනි ආදර කතා නිකුත් කලාට ගොඩක් ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ත්‍රාසය, භීතිය, විද්‍යාත්මක සහ අනෙක් ලෝකවල වුන සිද්ධීන් අල්ලාගෙන කල අපුරු කතා. මේවා හදන්න, ලියන්න සහ අදින්න ශිල්පියාට මෙන්ම රසිකයාටත් වෙනම මානසිකත්වයකුත් තියෙන්න ඕනේ. මෙහෙ අය නිතර ඇදිලා යන්නේ මනකල්පිත කතා වලට, විවිධ වීරයින්ට වගේ අයට... කොටින්ම තමන්ට කරන්න, හිතන්න බැරිදේ කරන එවැනි ලෝකයක් ගැන තමා සුපර් මෑන්, බැට් මෑන්, ස්පයිඩර් මෑන්, අයර්න් මෑන් කතා වලින් කියන්නේ. අපේ ළමා කාලයේදී ටින්ටින්, ඇස්ටරික්ස්, ලකී ලුක් වැනි ප්‍රබන්ද යුරෝපයෙන් බිහිවුනත්, දැන් ඒවා නිර්මාණය වෙන්නේ නෑ, මොකද ඉල්ලුම තියෙන්නේ අමෙරිකාවෙන් එන අර ඉහත සඳහන් කල කොමික්ස් වලට නිසා. ඇත්තෙන්ම පිටරට වැඩියෙන් කොමික්ස් බලන්නේ පිරිමි අය. අපි කවදාවත් සමීක්ෂණයක් කරලා තියෙනවද ලංකාවේ වැඩියෙන්ම මේවා බලන්නේ ගෑණුද පිරිමිද කියලා? මම හිතන්නේ පිරිමි!! මොකද මම දන්නා පරිදි ලංකාවේ වැඩියෙන්ම චිත්‍රකතා අඳින ශිල්පීන් පිරිමි ළමයි නිසා... (යෙහෙලියනේ මම වැරදි නම් සමා වෙන්න!) මෙහෙ ඉන්න පිරිමි අයට නම් ආදර කතා බොලද නිසාදෝ මන්දා, වගේ ආදර කතා නිර්මාණය වන්නේ නවකතා වශයෙන් විතරයි, එයත් ගැහැණු අය ඉලක්ක (Target Market) කරගෙන. (Barbara Cartland, Nora Roberts වැනි අයගේ නවකතා) ඊට අමතරව දවල් වරුවේ ගෙවල් වල ඉන්න ගෘහනියන් බලන teledrama, නැත්නම් සොප් ඔපෙරා කියන දේවල් වලින් තමා බොළඳ ආදර, මල් කතා එලියට එන්නේ. නිසා මෙහෙ පිරිමි ළමයින් ඉලක්ක කරගත් මනකල්පිත වීරයන් ඇතුලත් චිත්‍රකතා වලට තවමත් ඉහල ඉල්ලුමක් තියෙනවා, ඒවායින් චිත්‍රපටත් හැදෙනවා! ඒහෙම බැලුවම අපි චිත්‍රකතා ඉලක්ක කරලා තියෙන අය වැරදිද?? වගේම තෝරාගෙන තියෙන කතා වස්තුන් හරිද? ඉස්සරහට අපි මේවත් වෙනස් කල යුතුද වගේ ප්‍රශ්නත් එනවා නේද?

තවත් ප්‍රශ්න, උත්තර ඔබේ තර්ක සහ සංවාදයට ඊලග පොස්ට් එකකින් එනතෙක්... ස්තුතියි!

No comments:

Post a Comment

Featured

හත් දවසේ සාපයක්ද ?

මගේ කලින් පොස්ටුවක මම විමසුවා අපේ රටේ විතරක් මේ  චිත්‍රකතා පත්තර බිහිවුනේ ඇයි කියලා, ඒවා එක්තරා වට්ටොරුවකට නිර්මාණය වුන බවත්, විවිධ ප්‍රකාශක...