Thursday, February 9, 2023

චිත්‍රයද? ශිල්පියාද? කතාවද? චරිතයද?

මම කලින් පොස්ටුවේ, අපේ චිත්‍රකතා වලට කුමක් වුනාද කියා විමසන විට අනෙක් රටවල් වල චිත්‍රකතා වලට සංසන්දනය කරලා විග්‍රහයක් කළා. මට කියන්න අවශ්‍යයි එයින් මම අපේ රටේ චිත්‍ර ශිල්පින් ගේ හැකියාවන් බාල කිරීමක් අදහස් නොකළ බව. නමුත් අද අපේ ක්ෂේත්‍රය වැටී ඇති නිසා, ඇයිද කියා සොයාගත යුතු නිසාත්, එය කල හැක්කේ හොදින් පවතින දෙයක් සමග සසඳා බැලීමෙන් පමණක් නිසාත්ය.. වගේම ආදරය පසුබිම් වූ චිත්‍රකතා නොකළ යුතුයි කියන්නෙත් නෑ, මන්ද මමත් ඒවායේ රසිකයෙක් නිසා. නමුත් වැටුණු වලෙන් ගොඩ ඒමට නම් අපි අපේ කැමැත්ත පසෙකලා, හුදු ක්ෂේත්‍රයේ පිබිදුම සඳහා අදහස් පල කල යුතුයි. සමහරවිට ආදර චිත්‍රකතා පොත් වශෙයෙන් වෙනමම පල කලොත් හරියන්නත් පුළුවන්, එවිට තියෙන ඉල්ලුම අපට හිතා ගත හැකියි.. කෙසේ වෙතත් ඉදිරියටත් මම ඇමෙරිකාවේ සහ පිටරට කොමික් ක්ෂේත්‍රය උදාහරණයට අරන් තමා ලියන්නේ, එනිසයි මෙසේ මුලින්ම එකට හේතු දැක්වුයේ.

1980 දෙසතිය නමැති පුවත් පතෙන් කරන ලද සමීක්ෂනයකට අනුව, රසිකයන් වැඩියෙන්ම කැමති සරත්මධු මහතාට, මන්ද ඔහු වැඩියෙන්ම ඇන්දේ සුන්දර, ගමට බර ආදර කතා නිසා. දෙවනුව සිටියේ නාගරික නවීන පරපුරේ ආදර කතා ඉදිරිපත් කල ජනක රත්නායක මහතා වන අතර රෝම, ග්‍රීක තේමාවන් වලින් කතා ඉදිරිපත් කල බන්ධුල හරිස්චන්ද්‍ර මහතා. සමාජයීය තේමාවන් මත කතා ඉදිරිපත් කල දක්ෂ ප්‍රවීනයෙක් වන දයා රාජපක්ෂ මහතා සිටියේ සිව්වැනි තැනයි.

වඩාත් කැමතිම චිත්‍රකතාව සහ චරිතය ගත් කල පවා, ශ්‍රී ලංකාවේ චිත්‍රකතා රසිකයින් වැඩියෙන්ම රුචිකත්වය දැක්වුයේ ආදර කතාවලටයි.

ඉතින්, මගේ අද හෙඩින් එකට අනුව, ඔබ හිතන්නේ ලංකාවේ රසිකයෝ වන අප, චිත්‍රය? ශිල්පියා? කතාව? චරිතය? අනුවද චිත්‍රකතා බැලුවේ?? මම හිතන හැටියට නම් ඔය පලවෙනි දෙක අනුව කට්ටිය එක එක ප්‍රතිශතයට බෙදිලා ඉන්නේ. එය මැනවින් ඔප්පු වෙනවා, මේ මුහුණු පොතේ චිත්‍රකතා පිටුවල රසිකයින් කොමෙන්ට් කරන විදිහ බැලුවම සහ මේ ලඟදි දිල්හාන් ප්‍රගීත් මහතාගේ පිටුවේ තිබුන 1980 පලවුන "දෙසතිය" පුවත් පතේ කොපියක තිබුන ලිපි, පාඨකයන් සමග කර තිබු සමීක්ෂණ කියවීමෙන්. අපි ගොඩක් චිත්‍රකතා බැලුවේ කතාවට වුනාට ගොඩක් අය රසිකයන් වශයෙන් බැඳිලා (follow) හිටියේ චිත්‍ර වලටයි, චිත්‍ර ශිල්පියාටයි. එනිසා තමා ප්‍රකාශකයින් ජනප්‍රිය සිත්තරා පසු පස ගොස් වැඩි ගනන් ගෙවලා තමන්ගේ ප්‍රකාෂන වලට අර ගත්තේ. ගන්න බැරිවුනොත් ඔවුන්ගේ චිත්‍ර ශයිලිය තියෙන කෙනෙක් හොයාගෙන, කතාවට සමාන කතා, කතාවේ නම හා සමානම නම් වලින්, එවැනිම දෙබස් වලින් කතා රසිකයාට ඉදිරිපත් කරනවා. ඔන්න ලංකාවේ කොපි කැට් සිත්තරුන් බිහිවෙන්න ප්‍රධාන හේතුව ( අය ගැන ඉදිරි පොස්ටුවකින් අමතන්නම්). නමුත් මේ රටවල් වල එවැන්නක් සිදුවුනේ නෑ. මන්ද රසිකයින් වැඩියෙන් බැඳිලා හිටියේ කතාවේ චරිතවලටයි. චිත්‍ර ශිල්පියා සහ චිත්‍ර ආවේ දෙවනුව. අනික චරිත වල අයිතීන්, නිර්මාතෘට අමතරව ප්‍රකාෂන ආයතනයත් සතුයි! එනිසා ඔවුන්ට චරිත වෙනස් කරගෙන, වෙනස් ශිල්පින් ලවා අන්දවා ඉදිරියට ගෙන යා හැකිවුනා. එවිට ඔවුන් නිර්මාතෘ වරුන්ට ලාභයෙන් කොටස් ගෙවීමක් (% commission) කරා, එය නීතියෙන් සම්පාදනය වී තිබූ දෙයක් නිසා. එය මේ රටවල් වල චිත්‍රකතා/කොමික්ස් ක්ෂේත්‍රය රැකගෙන, ඉදිරියට ගෙන යාමට ප්‍රධාන හේතුවක් වුනා.


උදාහරණයක් වශයෙන් අපි ගමු කවුරුත් දන්නා ලෝකේ වැඩියෙන්ම ප්‍රසිද්ධ සුපර් මෑන් (Superman). මේ කතාවේ නිර්මාතෘන් දෙදෙනා (Joe Shuster) ජෝ ශුස්ටර් (කතාව) සහ (Jerry Seigel) ජෙරී සීගල් (චිත්‍ර) මෙය පළමුවෙන්ම 1934 ඇක්ෂන් කොමික්ස් සගරාව හරහා තමා ගෙනාවේ. 1930 ගණන් ඇමෙරිකාවේ ආර්ථිකය පළමුවෙනි ලෝක යුද්ධය නිසා බිමටම වැටිලා තිබුනේ (Great Depression 1929-39). රස්සා නැතිව, බදු, පෝලිම්, හොරකම් වැඩිවෙමින්, නීතියෙන් රැකවරණයක් නැති කාලෙක (ටිකක් දැන් ලංකාව වගෙත් නේද?) මිනිසුන්ට යන එන මන් නැතිව, හීන මවමින් ඉන්න කාලෙක ඔවුන් මේ චරිතය ගෙනාවේ සමාජයේ එකල තිබුණ සියලු දේට උත්තර සැපයිය හැකි මනකල්පිත වීරයෙක් හැටියට. එකෙන් මිනිස්සු සහනයක් ලැබුවා වගේම, පුදුම තෘප්තියකුත් ලැබුවා, චරිතයට තදින්ම බැඳුනා. ඔවුන්ට ශිල්පියන් දෙදෙනා නෙමේ ලොකු වුනේ, ඔවුන් බේරා ගන්න වෙන ලෝකෙකින් පැමිණි මේ අරුම පුදුම මිනිසා ගැනයි, ඔහුගේ හැකියාවන් (superhuman ability) ගැනයි. හැබැයි ඔහුට දුර්වලතාවයකුත් (weakness) එකකුත් (kryptonite) තිබුනා. ඒයින් හතුරන්ටත් ඔහු හා ගැටෙන්න අවකාශයකුත් දෙමින්, ඔහුව ටිකක් දුරට මිනිසත් බවට ලං කළා.. ප්‍රකාශකයින් මම කලින් සඳහන් කල පරිදි එම චරිතයේ අයිතිය තමන් සතු කරගෙන නිර්මාතෘ වරුන් සමග ඉතා දක්ෂ අයුරින් සුක්ෂමව කාලීන තේමාවක් අනුව කතාව ඉදිරියට ගෙනාවා.


මෙහි දැක්වෙන්නේ සුපර් මෑන්ගේ පටන් ගැන්මේ සිට විවධ ශිල්පින් අතින් ඇතිවුණු පරිණාමය (කිහිපයක් පමණයි). 1. පලවෙනි ප්රකාශය, ඔහුට තිබුනේ බර දේවල් ඉස්සීම වැනි හැකියාවන් 2. මේ ප්රකාශය වනවිට ඔහුට ගොඩනැගිලි උඩින් පැනීමට හැකිවෙනවා.. 3. දැන් ඔහුට පියාබන්න පුළුවන් 4. මේ තවත් නවකයෙක් සුපර් මෑන් ඇඳපු විදිහ.


මුල් කාලයේ සුපර් මෑන්ගේ නිර්මාන්තෘ වරුන් ඔහුගේ චරිතයට දී තිබුනේ හැකියාවන් ටිකක් පමණයි. ඔහුට ගොඩනැගිලි වලට උඩින් පැන යා හැකිවුනත්, දැන් අපි දන්නා පරිදි කෙලින්ම පියඹා යාමේ හැකියාවක් ඉදිරිපත් කර තිබුනේ නෑ. ඇස දෙකෙන් විදින එක්ස්-රේ වගේ දේවල් ඔහුට තිබුනේ නෑ. වගේම ඔහුගේ පසුබිම, පිට සක්වල දෙමාපියන්, හදා වඩා ගත් පෘතුවියේ දෙමව්පියන්, යාළුවන් සහ හතුරන් ගැන මුල් කාලයේ එළිකර තිබුනේ නෑ. ඒවා පසුව ටික ටික එකතුවුනා අනෙකුත් රචකයින්, සිත්තරුන් මේකට එකතු වීමෙන්. කොටින්ම පාඨකයා/රසිකයා චරිතයට වැඩියෙන් යොමුවුණා නිසා, ඔහුගේ පසුබිම (back story) ගැන ඔවුන් සොයන්න ගත්තා, කතා කරා, සංවාද කරා. එමගින් ඔවුන්ට හැකිවුනා, තව තව කතා ඔහුගේ චරිතය වටා ගොතාගෙන එය ගොඩ නගන්න, තව හැකියාවන් දී කතාව දිගටම කොටස් වශයෙන් ගෙනියන්න. අදටත් සුපර් මෑන් ගැන විවිධ පරස්පර විරෝධී (versions) තියෙනවා, රසිකයින් මේවා ගැන තර්ක සංවාද කරනවා, ඒ නිසාම මේවාට තියෙන ඉල්ලුම වැඩිත් වෙනවා. මුල් කාලයේ රේඩියෝව, පසුව රුපවාහිනිය සහ ඊටත් පසුව චිත්‍රපට වලටත් සුපර් මෑන් අරගත්තා. එතනින් නොනැවතුණු ප්‍රකාශකයින් බැට්මෑන් (Batman) චරිතය තව ශිල්පින් දෙදෙනෙක් (Bill Finger) බිල් ෆින්ගර් (කතාව), (Bob Kane ) බොබ් කේන් (චිත්‍ර) ලවා 1939දී පලකලා. ඔවුන්ගේ ආයතනය DC (Detective Comics) කොමික්ස් නමින් වෙනස් වුනා. බැට්මෑන් ජීවත්වුණේ ගොතම් (Gotham) කියන මනකල්පිත නගරේ, සුපර් මෑන් හිටිය මනකල්පිත නගරය වන මෙට්‍රොපොලිස් (Metropolis) නගරයට නුදුරින්. ඔවුන් එකම ලොවේ, එකම කාලයේ සිටි නිසා, සමහර පොත් තුලදී ඔවුන් මුණ ගැසුනා... හැප්පුනා! ඒයට පාඨකයා දැක්වූ ප්‍රතිචාර අනුව පසුව වෙනස් කරලා මිතුරන් බවට පත් කළා. ඊටත් පසුව අනෙකුත් චරිත (ෆ්ලෑෂ්, වොන්ඩර් වුමන්, ඇක්වා මෑන් ආදීවෙන වෙනම පොත් වලින් ඉදිරිපත් කරලා මේ දෙදෙනාත් එක්ක ජස්ටිස් ලීග් (Justice League) කියලා තවත් පොත් සිරිස් එකකට එකතු කළා. බලන්න ඔවුන් කුඩා දෙයකින් පටන් ගත්ත කතාව ගෙනගිය (develop) හැටි. ඔවුන් හරි ඉලක්කය, කාලීනව අවශ්‍ය තේමාවකට, අනිත් අයත් (ශිල්පින්, රචකයන්) එකතු කරගෙන ගොඩ නැගුවා. මිට අමතරව DC කොමික්ස් වලට තරගයක් දෙන්න (Marvel) මාවල් කොමික්ස් කියලා ආයතනයක් ස්ටෑන් ලී (Stan Lee) කියන රචකයා මුලිකව හැදුනා. ඔවුන් කලෙත් DC විදිහට එවැනිම වීර කතා හැදුවා, පසු කලෙක DC ප්‍රකාශන වලටත් වඩා ප්‍රචලිත වුනා. (මෙවැනිම රස අතීතයක් වොන්ඩර් වුමන් පිටු පසත් තියෙනවා, කැමතිනම් පහතින් කොමෙන්ට් කරන්න, මම ලියන්නම්!)


බැට්මෑන්ගේ පරිනාමය (කිහිපයක් පමණයි) 1. පළමු කලාපය 2. දෙවෙනි කලාපය 3. නවීන බැට්මෑන්ගේ පිය ලෙස හැදින්වෙන ෆ්රෑන්ක් මිලර් ඇඳපු විදිහ. ඔහුගේ බැට්මෑන් ඉතා දරුණු චරිතයක්. බැට්මෑන්ට ඩාක් නයිට් කියන අනුවර්ණ නාමය ගෙනාවේ මොහු. 4. ජිම් ලී කියන ශිල්පියා පසුව බැට්මෑන් හසුරුවපු හැටි.


දැන් අපේ රටේ චිත්‍රකතා උදාහරණයට ගත්තොත්, කතා වල තියෙන චරිතවල ඔවුන්ගේ පසුබිම ගැන ඔබ මොනවාද දන්නේ? නිව්රෝ, යුනිකෝ, ටෝගා, ටෝරස් වැනි වීරයන් කොහෙන්ද ආවේ, දෙමව්පියන්, මිතුරන්, ඔවුන්ගේ හැකියාවන් වගේම දුර්වලතා මොනවද? එතකොට ආදර කතා වල චරිත ගැනත් මොනවාද අපි දන්නේ? ඔවුන් ගැන ටිකක් දැන් ගත්තත් අපි ගැන වැඩි විමසුමක් කලාද? ඔවුන්ගේ ආදර කතාව ඉවර වෙන්නේ එක්කෝ, ආදරවන්තයෝ බැන්දොත් එහෙම නැත්නම් එක්කෙනක් මැරුනොත්, රට ගියොත් වගේ දෙයකින් නිසා, තව කොටසකට කතාව ගෙන යන්නත් අමාරුයි. එතකොට ශිල්පියා ආයේ වෙන අලුත් කතාවකට යනවා, නමුත් සමහර විට පාඨකයෝ චරිත වලට කැමති වෙන්නේ නෑ... මොකද එකක් කලින් චරිතෙට තියෙන ඇල්ම නිසා, එහෙම නැත්නම් කතාවටම සමාන නිසා. අපිට හිතන්නවත් පුලුවන්ද ඔය ඉහත සඳහන් වීර චරිතයක්, වෙන ශිල්පියෙක්ගේ මනසින් විග්‍රහ කරලා චරිතෙට, තව අතීතයක් ඇතුල් කරලා පසුබිමක් සමග ඇන්දානම්? සමහර විට යුනිකෝ සහ නිව්රෝ සහෝදර නෑ කමක් තිබුනානම්... එහෙම නැත්නම්, ටෝගා හරි ටෝරස් එක්ක ඒකතු වෙලා සතුරෙක්ව පරාජය කරා නම්. අපට එහෙම උපකල්පනය කරන්න බැරිද? වගේ සාමාන්‍ය සිතුවිල්ලෙන් ඔබ්බට (out of the box) ගොස් නිර්මාණ හැදුවනම්? ගොඩක් වෙලාවට මේ රටවල් වල එවැනි නිර්මාන කෙරුවෙම වෙනත් ශිල්පියෙක්, නිර්මාතෘ නෙමේ... අපේ රටේ එහෙම වෙන්න ශිල්පියෙක් ඉඩ දෙයිද?


එසේ වෙනත් ශිල්පින් එකතු වීමෙන් ඉතා හොඳ දේවල් කීපයක් වෙනවා. මේ රටවල් වල කොමික් පොත් අදිනකොට නිර්මාණ ශිල්පියා ගොඩක් වෙලාවට, පැන්සලෙන් කටු සටහනකින් කතාව ඇදගෙන යනවා. ඊට පස්සේ එය තීන්තෙන් අදින්න සහ පාට දාන්න ඔහුගේ ගෝලයෙක් ඉන්නවා. සමහරවිට අකුරු ලියන්නත් ප්‍රගුණ කරපු වෙනමම එක්කෙනෙක් ඉන්නවා. එතකොට මෙයින් කී දෙනෙකුට, විශේෂයෙන් ආධුනිකයින්ට රස්සාවල් සහ පල පුරුද්ද ඇති කරනවද? කීපදෙනෙක් එකතු වෙලා කරනකොට, කතාවේ චිත්‍රයේ තියෙන අඩුපාඩුත් තව කෙනෙකුට පෙනෙනවා, එවිට ඒවා හදා ගත හැකියි. වගේම කතාවක් ඉක්මනින් ඉවර කරලා මුද්‍රණයට යවන්නත් පුළුවන්... එතකොට නවකයින් එලියට එන්නෙම ප්‍රවීනයන් වෙලා. උදාහරණයකට ගත්තොත් ටොඩ් මැක්ෆාර්ලෙන් (Todd McFarlane) කියන්නේ අද කොමික් ලෝකය ජයගත් කෙනෙක්, ඉතා ඉහලින් ඉල්ලුමක් තියෙන, දක්ෂ රචකයෙක් චිත්‍ර ශිල්පියෙක් සහ ලොකුම පොහොසතෙක්. ඔහුගේ ස්පොව්න් (Spawn) කියන චිත්‍රකතා පොත් වලට ඉතා ඉහල ඉල්ලුමක් තියෙනවා. නමුත් ඔහු පටන් ගත්තේ, මාවල් කොමික්ස් පොත් වල ස්පයිඩර් මෑන් (Spiderman) කතාවේ රචකයෙක්, සහ පසුව චිත්‍ර ශිල්පියෙක් හැටියට. නමුත් ස්පයිඩර් මෑන් ඔහුගේ නිර්මාණයක් නෙමේ... ඔහු අර කලින් කිව්වා සේ අධුනිකයෙක්ව එකතු වෙලා කට්ට කාල ඉගෙන ගෙන, පල පුරුද්දක් ඇතුව එලියට ඇවිත් දැන් තමන්ගේම ප්‍රකාශන ආයතනයකුත් හැදුවා! (ඔහු අදින YouTube වීඩියෝවක ලින්ක් එකක්, ඔහුගේ චිත්‍ර ඇතුලත් මම මෙහි ඇමනු පිටුව තුල ඇති) ෆ්‍රෑන්ක් මිලර් (Frank Miller) තවත් එක්කෙනෙක්...මේ වගේ ගොඩාක් අය තව ඉන්නවා, ඔබ අන්තර්ජාලයෙන් සොයා බලන්න! මේ අය සමහර විට DC සහ මාවල් ප්‍රකාශන දෙකටම, චරිත කීපයකට පන දුන්නා. ඒකට ප්‍රකාශන ආයතන වලින් බාධා වුනේ නෑ, මොකද ඔවුන්ගේ උවමනාව වුනේ චරිතයට හොඳ දෙයක් කිරීමයි. එහි වාසිය සියලු චිත්‍ර ශිල්පින් අද විදිනවා...


1. ටොඩ් මැක්ෆාර්ලෙන් ඔහුගේ ස්පොව්න් පොත සමග (ඒ චරිතයෙන් ඔහු එලි දක්වපු වාර්තා ගත 301 වෙනි පොත). 2. ඔහු මාවල් කොමික්ස් වලට ස්පයිඩර්මෑන් ඇඳපු විදිහ.... ඔහු චිත්රයක් ගොඩ නගන හැටි YouTube වලින් බලා ගන්න පහත ඇති ලින්ක් වලින් ඔබට හැකියි...

https://youtu.be/LHM9DfSpINY
https://youtu.be/X-nyFXsSODQ


අවසානයේ මම දකින්නේ අපේ රටේ චිත්‍රකතා ලෝකය හරියට උසට හැදුන ගස් ගොඩක් තියෙන වත්තක් වගෙයි. අපේ ශිල්පින් සහ ඔවුන්ගේ නිර්මාණ, වත්තේ තනි තනියම ජනප්‍රියත්වයෙන් ඉතා උසට හදුන, නමුත් වැඩිය අතු නැති ගස්! සැර සුලං පාරක් හෝ බාධාවක් පමණින්, මුළු වත්තම කෙලින්ම බිමට වැටෙන අවකාශය වැඩියෙන් තිබුනා! නමුත් මේ රටවල් වල චිත්‍රකතා වත්තේ පැලවිලා තියෙන්නේ මහා රූස්ස නා ගස් වගේ බෙදිලා ගිය අතු සහිත ගස්. (අර මම කලින් කියපු ආධුනිකයන් සහ අනිත් ශිල්පින් අතර තම නිර්මාණය බෙදා ගැනීමෙන්) බිමට නැවිලා ආයෙත් පැලවිලා ගස් වලට හොඳ සවියක් දෙනවා, වත්තත් සරුයි. මොන සුළඟක් ආවත් දැවැන්ත චරිත සහ චිත්‍රකතා වත්ත අදටත් වැටිලා නැත්තේ ඒකයි!

Featured

හත් දවසේ සාපයක්ද ?

මගේ කලින් පොස්ටුවක මම විමසුවා අපේ රටේ විතරක් මේ  චිත්‍රකතා පත්තර බිහිවුනේ ඇයි කියලා, ඒවා එක්තරා වට්ටොරුවකට නිර්මාණය වුන බවත්, විවිධ ප්‍රකාශක...